පේරාදෙණිය සරසවි සිසුන් 15කට වසර තුනක පන්ති තහනමක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ නවක සිසුන් අට දෙනකු විශ්ව විද්‍යාලයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස් ඔවුන් නිරුවත් කර අමානුෂික ලෙස නවක වදය ලබාදුන් බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන සිසුන් 15 දෙනකුගේ පන්ති වසර තුනක කාලයක් සඳහා තහනම් කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය තීරණය කර තිබේ.

විශ්ව විද්‍යාලයේ විනය මණ්ඩලය මගින් සිදුකළ පරීක්ෂණයකින් පසු ලබා දුන් නිර්දේශ මත උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ සිසුන්ට වසර තුනක කාලයක් සඳහා පන්ති තහනම් කෙරෙන ලිපිය නිකුත් කර ඇත.

අදාළ සිසුන් 15 දෙනා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිට කිලෝ මීටර 04 ක පමණ දුරින් දොළුව මෙගොඩ කළුගමුව ප්‍රදේශයෙන් මාසයකට රුපියල් 10000.00 බැගින් ගෙවා මාස තුනක කාලයක් සඳහා ලබාගත් නිවසකට කෘෂි පීඨයේ නවක සිසුන් 08 දෙනකු රැගෙන ගොස් අමානුෂික ලෙස නවක වදය ලබා දෙමින් සිටියදී විශ්ව විද්‍යාලයේ විනය පාලක ආචාර්ය ගාමීණී හිටිනායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් එම ස්ථානය වටලා සිසු පිරිස පොලීසියට බාරදී තිබිණි.

පසුගිය පෙබරවාරී මස 19 දින රාත්‍රියේ මෙම නවක වදය ලබාදීමේ සිද්ධිය අනාවරණය වීමෙන් පසු අත් අඩංගුවට ගත් සිසුන් මාස තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අතර දැඩි ඇප කොන්දේසි මත ඔවුන් මේ වනවිට ඇප මත නිදහස්ව සිටිති.

මෙම දඬුවමට එරෙහිව සිසුන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බවද විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

 

242 total views, 2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !