මන්දා| අජිත් තිලකසේන

අපේ කසාදය කටුගාලා ගෙවුණු දෙවසර තුලදි
අපි මුන ගැහුනා කීප විටක් කඩමන්ඩියෙදි

පාර පනිද්දි ඔබ එක් වරක් මා දිහා බැලුවා

අපේ දරුවවත් ඇදගෙන ඔබ දුවනව දැකල බස් එකට
මම ඔහුව උස්සල තිබ්බා පා පුවරුවෙන් උඩට
ඉක්මනට ගැන්නෙන්න
ඔබේ තුරුලට

වරක් මම
පදිකාව දිගේ එමින් සිට
නිකමට
ඔබ ඉන්නවද බලන්න
තැපැල් පෙට්ටිය ඉදිරිපිට
රේන්ද සලුපිලි හලට එබුනා

වේගයෙන් ගසාගෙන ගිය බස් එකක
දවසක්
ඔබේ හිනහව
රිදී ඉරක් සේ ඇදී ගියා හරහට

මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන් අරගනද මන්දා

මගේ දෙවන බිරිඳ
ඇගෙන් මට දරුවො නැහැ

ඊයෙ රෑ කෑම පිහද්දි
මට දැනුනා අතීත සුවඳක්
මතකයට ආවා
කුස්සියේ ඉස්සර හැඩය
හැඳි අලුව කලින් එල්ලුනු තැන
දිය මැස්ස වට්ටි ආන එදා තිබුනු පිලිවෙල

මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන්අරගනද මන්දා

 


අජිත් තිලකසේනයන් විසින් 2008 වසරේ පාඨකයන් අතට පත්කළ ‘මාරියාව’ කාව්‍ය සංග්‍රහයේ එන නිර්මාණයකි. (කතුවරයා සිංහල අක්ෂර භාවිත කිරීමේ දී අනුගමනය කරනුයේ සුවිශේෂී ක්‍රමවේදයකි. පරිගණක සඳහා සැකසූ සිංහල යුනිකෝඩ් අක්ෂර භාවිතයේ දී මතුවන තාක්ෂණික ගැටළු හේතුවෙන් එය එලෙසම ඔබ වෙත සමීප කරවීමට නොහැකි වීම පිළිබඳව අප කණගාටු වෙමු.)

172 total views, 0 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !