ජීවිතය සිරගත කළ නොහැක…

The Shawshank Redemption (1994)

ජීවිතේ අසීරුම මොහොතක, දෛවය දරුණු වෙන්න පුළුවන් උපරිම සීමාවත් ඉක්මවලා දරුණු වෙන තැනකදි වුණත් මනුස්සයෙකුට තමුන්ගෙ ජීවිතේ පවත්වාගෙන යන්න ඕන නම්, බලාපොරොත්තු කියන දේ අතනෑර ළඟ තියාගන්නම වෙනවා. සමහර අසීරු අවස්ථාවලදි ඒ බලාපොරොත්තු ගැන සහ ඒව නඩත්තු කරන්න තියෙන ශක්තිය ගැන අපිටම සැක හිතෙන්න පුළුවන්. ඒත් මොන තරම් අසීරු මොහොතක වුණත් නොවැටී ඉන්න නම් ඒ බලාපොරොත්තු ගැන තියෙන විශ්වාසය නො බිඳී තියාගැනීම ගොඩක් වැදගත්. එහෙම බලාපොරොත්තු සහගත ජීවිතයක් සදාකාලිකව පරාද කරන්න කිසිම බලවේගයකට පුළුවන්කමක් නැතිබව ආයෙ ආයෙත් අපට මතක් කරන සිනමා කෘතියක් විදියට The Shawshank Redemption (1994) හඳුන්වන එක අතිශයෝක්තියක් නෙමෙයි. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙ Frank Darabont. Stephen King ලියපු ‘Rita Hayworth and Shawshank Redemption’ කියන නවකතාව පාදක කරගෙනයි ඒ චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ.  ප්‍රධාන චරිත රඟපාන්නෙ Tim Robbins එක්ක Morgan Freeman.

එළියෙ සිද්ධවෙන ඉතාමත් කෙටි සිදුවීම් කිහිපයක් හැරුණාම අවුරුදු විස්සක් පුරා දිවෙන චිත්‍රපටියෙ කතාව සම්පූර්ණයෙන්ම වගේ දිගහැරෙන්නෙ Shawshank කියන හිරගෙදර ඇතුළෙ. චිත්‍රපටිය පටන් ගන්නෙ තරුණ බැංකු නිලධාරියෙක් වුණු ඇන්ඩි ඩුෆ්‍රේන් (Tim Robbins) කියන ප්‍රධාන චරිතය මිනීමැරුම් චෝදනාවකට හිරගත වීමෙන්. තමුන්ගෙ බිරිඳට වෙඩි තියල මරාදැමීම කියන වරදටයි එයා වැරදිකරු වෙන්නෙ. ඒ 1947 අවුරුද්ද. පුද්ගලයෙක් කිසිම දවසක අත් නොවිඳිය යුතු තරමේ කටුක අත්දැකීම්වලින් පිරුණු Shawshank හිරගෙදරට යන්න ඇන්ඩිට සිද්ධ වෙනවා. ඒක කොයිතරම් අප්‍රසන්න, දරුණු පරිසරයක්ද කියනවනම් හිරගත වුණු පළමුවෙනි දවසෙම ජේලර් කෙනෙකුගෙන් ගුටිකාලා එක හිරකාරයෙක් මැරෙනවා. ඇන්ඩි ඇතුළු පිරිස ඉන්න බස් එක හිරගෙදර ඇතුළට එනව පෙන්නන්නෙම ඒ භයානකකම, මූසල, කාලකන්ණිකම දැනෙන විදියට. අලුත් හිරකාරයො පෝලිමට හිරගේ ඇතුළට යද්දි පරණ කට්ටිය කරන්නෙ ඉස්සෙල්ලම අඬන්නෙ කවුද කියන එක ගැන සිගරට් ඔට්ටු අල්ලන එක. මුලින්ම අඬපු හිරකාරයට තමයි අරවගේ ඉරණමක් අත්වෙන්නෙ ගොඩක් වෙලාවට. එහෙම ජීවිතයකට හුරුවෙන එක සුලුපටු දරාගැනීමක් තියෙන පුද්ගලයෙකුට කිසිම විදියකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇන්ඩි Shawshank වලට ඇවිත් වැඩි දවසක් යන්න කළින්ම ගොඩක් දේවල් තේරුම් ගන්නවා. ඒ වගේම සමලිංගිකයන්ගෙ අඩන්තේට්ටම්වලට (ඇතුළෙ හැමෝම එයාලට කියන්නෙ ‘සහෝදරියො‘ කියල), පාලනාධිකාරියේ යකඩ සපත්තුවලට විතරක්නෙමෙයි, වරදක් නොකර දඬුවම් විඳින්න සිද්ධ වීමේ වේදනාව වගේ ගොඩාක් දේවල්වලට යටවෙලා ජීවත් වෙන්න එයාට එතන ඉඳලා සිද්ධවෙනවා. හැබැයි ටිකෙන් ටික ඒ ජීවිතේට හුරුවෙන ඇන්ඩි වැඩි කාලයක් නොයා මුලු හිරගෙදරම ඉන්න ජනප්‍රියම පුද්ගලයා බවට පත්වෙනවා. මුල්‍ය උපදේශකයෙක් විදියට එයාට තියෙන දැනුම පාවිච්චි කරලා ජේලර්ලගෙ ඉඳල බන්ධනාගාර පාලක දක්වා හැමෝම අල්ලගන්න ඇන්ඩි එයාලගෙ අසාධාරණ සල්ලි බදුවලින් බේරගැනීමේ ගැලවුම්කාරයා බවට පත්වෙන්නෙ නිරායාසයෙන්. කොටින්ම පාලනාධිකාරියට ඇන්ඩි නැතුවම බැරි චරිතයක් වෙනවා.

හිර ගෙදරදි ඇන්ඩිගෙ හොඳම යාලුවා වෙන්නෙ ‘රෙඩ්‘ (Morgan Freeman). එයා හිරගෙදර පුරාම ජනප්‍රිය වෙලා ඉන්නෙ එළියෙ ඉඳල ඇතුළට පොඩි පොඩි දේවල් ගෙනියන්න පුළුවන් කෙනෙක් විදියට. රෙඩ්ගෙ උදව්වෙන් ඇන්ඩි ගෙන්න ගන්නවා පුංචි මිටියකුයි, රීටා හේවර්ත් ගෙ ලොකු පෝස්ටරයකුයි. මිටිය පාවිච්චි කරල පුංචි පුංචි චෙස් ඉත්තො ගල්වලින් නිර්මාණය කරන ඇන්ඩිගෙ කාමරේ එක බිත්තියක රීටා හේවර්ත් නවතිනවා. නිතරම බයිබලයක් අතේ තියාගෙන ඉන්න තක්කඩි බන්ධනාගාර පාලක පවා ඒකට විරුද්ධ වෙන්නෙ නැහැ. චිත්‍රපටියෙ එක තැනකදි කියනවා මෙහෙම.

…හිරේදි මිනිහෙක් ඕනම දෙයක් කරනවා තමුන්ගෙ මනස වැඩ කරමින් තියාගන්න. කාලය ගෙවාගන්න. මොකද හිරේදි කාලය ගතවෙන්නෙ හරිම හෙමින්…

ඇන්ඩිත් හිරගෙදර ඇතුළෙදි තමුන්ගෙ මනස දිගටම වැඩකරමින් තියාගන්න ගොඩාක් දේවල් කරනවා. පාලකයන්ට ලියුම් ගනණාවක් ලියල, බන්ධනාගාරයේ පුස්තකාලයක් පටන් ගැනීම, තමුන්ගෙ සගයින්ට ඉහළට ඉගෙන ගැනීමේ අවස්ථා හදල දීම වගේ ටිකක් දැවැන්ත වැඩ පවා. චිත්‍රපටියෙ මුල් කොටස ඉවර වෙන්නෙ ඒ විදියට.

දෙවෙනි භාගයෙදි Shawshank වලට එන එක හිරකාරයෙක් කතාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට පෙරළෙනවා. ඒ ටොමී විලියම්ස් හෙවත් Mr. Rock & Roll. එල්විස් ප්‍රෙස්ලි වගේ කොණ්ඩෙ කපපු මේ පිස්සු තරුණයා ඒ වෙනකොට මැදි වයසෙ ඉන්න ඇන්ඩිගෙ හොඳ යාලුවෙක් වෙනවා. ඒ 1965 අවුරුද්ද. එයා එක වෙලාවක හෙළිකරනවා ඇන්ඩිගෙ බිරිඳගෙ මරණයට අදාල ඇත්ත මිනීමරුවව. ඒ හෙලිදරව් කිරීම කෙළවර වෙන්නෙ මිස්ටර් රොක් ඇන්ඩ් රෝල් බන්ධනාගාර නිලධාරියෙක් අතින් කෘර විදියට මැරුම් කෑමෙන්. බන්ධනාගාර පාලකට කිසිම විදියකින් ඕන වෙන්නෙ නැහැ තමුන්ගෙ මූල්‍ය උපදේශකයව Shawshank වලින් පිටකරගන්න. ඇන්ඩිට තමුන් නිර්දෝෂී බව ඔප්පුකරගන්න තිබුණු අන්තිම සාක්ෂියත් නැතුව යනවා. කලකිරෙන එයා තීරණයක් ගන්නවා. ඒ කුණුවෙවී පැසවන බන්ධනාගාර ජීවිතේ ඉවරයක් කරගන්න. හැමෝම හිතන්නෙ ලණුවකුත් අරගෙන යන එයා එල්ලිලා මැරෙයි කියල. ඒත් අන්තිමේ සිද්ධවෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. කාලයක් තිස්සෙ තීක්ෂණ බුද්ධියකින් කරපු සැලසුමකට අනුව ඇන්ඩි එතනින් පිටවෙලා යනවා. කිසිම කෙනෙක් හීනෙකින්වත් නොහිතන විදියට. බන්ධනාගාර පාලක ඇතුළු Shawshank වල හැම තක්කඩියෙකුටම උපරිම දඬුවම් ලැබෙනවා.

IMDb ශ්‍රේණිගතකිරීම් වල ඉහළම ඉන්න Shawshank Redemption චිත්‍රපටිය ඇත්තටම බලල ඉවර කරද්දි හුස්ම හිරවෙන තරම් දැනෙන චිත්‍රපටියක්. රූපරාමු සහ සංස්කරණය වගේ කාරණා ගත්තත්, පිටපත සහ කතාව පැත්තෙන් ගත්තත් ඒ ඇඟ හිරිවැටීමේ සිනමා අත්දැකීමට ලැබෙන්නෙ සුලුපටු දායකත්වයක් නෙමෙයි. විශේෂයෙන්ම පිටපත. එක මොහොතක්වත් මගහරින්න නොහිතෙන තරම් පෙළඹවීමකට (motivation) චිත්‍රපටිය පුරාම අපිව අහුවෙනවා. රීටා හේවර්ත් ගෙ ඉඳලා රාකේල් දක්වා නිලියො ඇන්ඩිගෙ කාමරේ බිත්තියේ නවාතැන් ගනිද්දි 1947 ඉඳලා 1967 දක්වා ගතවෙන ඒ කාලය පුරාවටම Shawshank හිරගෙදර කිසිම ජීවිතයක් අලුතෙන් හුස්ම ගන්නෙ නැහැ. අවුරුදු ගාණක් හිරේ ඉඳල නිදහස්වෙද්දි, එළියෙ නුහුරු ජීවිතයෙන් තමුන්ව ආයෙ ආයෙත් පිටුවහල් වීමේ වේදනාව සහ ඒ ව්‍යුහයන් දෙක අතරෙ තියෙන වෙනස දරාගන්න බැරුව එක හිරකාරයෙක් නිදහස් වෙලා ටික කාලයකින් එල්ලිලා මැරෙනවා. ඒත් ඇන්ඩි කිසිම මොහොතක එයාගෙ බලාපොරොත්තු ගැන සැකයක් ඇති කරගන්නෙ නැහැ කිසිම දේකින්. අන්තිමේ බලාගෙන ඉන්න අයට වගේම හිරගෙදර ඉන්න ඇන්ඩිගෙ මිත්‍රයන්ට පවා තේරුම් යනවා ජීවිතේ අසීරුම අවස්ථාවක වුණත් බලාපොරොත්තු සහගත වීම කොයිතරම් වැදගත් දෙයක් ද කියලා.

සමහර කුරුල්ලො කූඩු කරල තේරුමක් නෑ… උන්ගෙ පිහාටු ශක්තිමත්. උන් පැනල ගියාම අපට තේරෙනවා කූඩු කිරීම පවක් බව. ඒත් තවමත් අපි අතරෙ උන් නැති අඩුව දැනෙනවා…

ඇන්ඩි හිරෙන් පිටවුණාට පස්සෙ එයාගෙ යාලුවො එයා ගැන කියන්නෙ එහෙම. ඇත්තටම නිදහස කියන්නෙ නිදහසේ ජීවත් වෙන අයට නිකම්ම අකුරු හතරක් විතරක් වුණත්, නිදහස අහිමි වුණු අයට ඒ වචනයේ වටිනාකම කියල නිම කරන්න බැරි බව ඇන්ඩි ඩුෆ්‍රේන් කියන නිදහස් හිරකාරයා චිත්‍රපටිය පුරාම අපට කියනවා. ඒ වගේම, මිනිහෙක් හිරගත කරන්න පුළුවන් වුණත් නිදහස ගැන එයාගෙ බලාපොරොත්තු නැතිවෙලා යනකල් කවදාවත් එයාව ඇත්තම හිරකාරයෙක් කරන්න බැරි බවත්.

සෞම්‍ය සඳරුවන් ලියනගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *